[මෙය Sri Lankan court case continues over violent attack on SEP members යන මැයෙන් 2026 මැයි 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
2023 නොවැම්බර් මාසයේ දී, මොරටුව විශ්ව විද්‍යාලය අසල දී, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින් වන දේහින් වසන්ත සහ ලක්ෂ්මන් ප්‍රනාන්දු යන අයට එල්ල වූ ප්‍රචන්ඩකාරී ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කල අපරාධ නඩුව විභාග කිරීම මැයි 25 වන දින ශ්‍රී ලංකාවේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරනය විසින් ඉදිරියට ගෙන යන ලදී.
සසප සාමාජිකයින් දෙදෙනාට මෙම ප්‍රහාරය එල්ල වූයේ, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් ඇමතීමට නියමිත ව තිබූ ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය සනිටුහන් කරන ප්‍රසිද්ධ රැස්වීම් සඳහා උද්ඝෝෂනය කරමින් සිටිය දී ය. සසප යනු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාවයි.
මැයි 25 වන දින ලක්ෂ්මන් ප්‍රනාන්දුට හරස් ප්‍රශ්න එල්ල කිරීමේ දී සැලකිය යුතු දේශපාලන කාරනයක් මතු විය. ප්‍රහාරයට ලක් වූවන්ගෙන් එක් අයෙකු වන ප්‍රනාන්දුගෙන්, ප්‍රහාරයට චෝදනා ලැබූවන්ගේ විත්තියේ නීතිඥවරයා ප්‍රශ්න කලේ ය. සසප විදේශ අරමුදල් මත යැපෙන, රාජ්‍ය නොවන සංවිධානයක් (එන්ජීඕ) ලෙස නිරූපනය කිරීමට නීතිඥවරයා උත්සාහ කල අතර, පහර දීම පිලිබඳ පැමිනිල්ල විදේශ අරමුදල් ලබා ගැනීමේ උත්සාහයන් මගින් පෙලඹී ඇති බවට යෝජනා කලේ ය.
ප්‍රනාන්දු මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කලේ ය. සසප යනු ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරනවලට තරඟ කර ඇති, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල ව ලියාපදිංචි වූ දේශපාලන පක්ෂයක් බවත්, එය ජාත්‍යන්තර ව කම්කරුවන් එක්සත් කිරීමට සටන් කරන ලෝක සමාජවාදී ව්‍යාපාරයක් වන හජාජාක ශ්‍රී ලංකා ශාඛාව බවත් ඔහු අධිකරනයට පැවසී ය. කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ කොටසක් වීමට සසපට ඇති අයිතිය ඔහු අවධාරනය කලේය.
පක්ෂ මූල්‍ය කටයුතු පිලිබඳ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් ප්‍රනාන්දු සාක්ෂි දෙමින් කියා සිටියේ, සසප ක්‍රියාකාරකම් සඳහා අරමුදල් ලැබෙන්නේ පක්ෂ සාමාජිකයින්, ආධාරකරුවන්, දේශපාලන සම්බන්ධතා සහ ගෙයින් ගෙට යමින් පවත්වන විවෘත දේශපාලන උද්ඝෝෂන හරහා බවයි.
නඩුවේ දෙවන සාක්ෂිකරු ලෙස, ප්‍රනාන්දු, 2023 නොවැම්බර් ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් සිටියේ ය. රැස්වීම් සඳහා වූ ව්‍යාපාරයේ කොටසක් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පිටුපස ගේට්ටුව අසල සසප පත්‍රිකා බෙදා හරින ලද ආකාරය ඔහු සහ වසන්ත විස්තර කලේ ය. විත්තිකරුවන් ඔවුන් වෙත පැමින, දේශපාලන පත්‍රිකා බෙදා හැරීම නවතා, ප්‍රදේශයෙන් පිටව යන ලෙස නියෝග කල බව ඔහු පැහැදිලි කලේ ය.
සසප සාමාජිකයින් මැතිවරන ප්‍රචාරක කටයුතු අවසන් කර නිවසට ආපසු යමින් සිටිය දී, ප්‍රහාරකයින් ඔවුන් පසුපස හඹා ගොස්, ලී පොලුවලින් පහර දුන් බවට ප්‍රනාන්දු සාක්ෂි දුන්නේ ය. මෙම ප්‍රහාරය ජීවිත තර්ජනයක් බව විස්තර කල ඔහු, තමා සහ වසන්ත යන දෙදෙනා ම තුවාල ලබා පසු ව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කල ආකාරය පැහැදිලි කලේ ය.
ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් වසන්තගේ වම් අතේ ඇඟිලිවල අස්ථි බිඳීම් සිදු වූ බවටත්, ප්‍රනාන්දුගේ බෙල්ල සහ ශරීරයේ තුවාල වූ බවටත් ඔහු තවදුරටත් සාක්ෂි දුන්නේ ය. ප්‍රහාරය සිදු කල චූදිතයන් ප්‍රනාන්දු හඳුනා ගත්තේය. චූදිත පුද්ගලයින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත්, එවකට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන, පොදුජන ප්‍රගතිශිලී සේවක සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවට සම්බන්ධ නිලධාරීන් බව පූර්ව අධිකරන ක්‍රියාමාර්ග තුල දී තහවුරු විය.
සිසුන් සහ සසප සාමාජිකයින් සම්බන්ධ ආරවුලකට තමන් මැදිහත් වූ බවත්, කිසිදු පහරදීමක් සිදු වී නොමැති බවත් පවසමින් විත්තිකරු සිදුවීම් පිලිබඳ තමාගේ ම අනුවාදයක් ඉදිරිපත් කලේ ය. ප්‍රනාන්දු මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කල අතර ප්‍රහාරය පිලිබඳ තමාගේ අර්ථකතනය ඉදිරියට ගෙන ගියේ ය.
විත්ති පාර්ශ්වය විසින් අනුගමනය කරන ලද ප්‍රශ්න කිරීමේ මාවත නඩුවට සම්බන්ධ පුලුල් දේශපාලන ගැටලු මතු කරයි.
දශක ගනනාවක් තිස්සේ, සංස්ථාපිත පක්ෂ සහ ඒවාට අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයින්, සසප “විදේශ අරමුදල් ලබන” කන්ඩායමක් ලෙස හංවඩු ගසා රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධ කිරීමෙන්, එය අපකීර්තියට පත් කිරීමට උත්සාහ කර ඇත. එවැනි චෝදනා, සියලු ආකාරයේ ධනේශ්වර පාලනයට සහ ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවට එරෙහි එහි සම්මුති විරහිත විරෝධයට සහ කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරවලට එරෙහි ව සසප නොසැලෙන අරගලයට වල කැපීම අරමුනු කරගත් දේශපාලන මඩ ව්‍යාපාරයකි.
රාජ්‍ය නොවන සංවිධාන කෙරෙහි පවතින මෙම සතුරුකම, බොහෝ විට, ආන්ඩුව, පාලක පන්තියේ පක්ෂ හෝ වෘත්තීය සමිති යාන්ත්‍රනය විවේචනය කරන සංවිධානවලට එරෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරවල ස්වරූපය ගනී. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීමක් ලෙස සසප එවැනි මර්දනයන්ට විරුද්ධ වී ඇති අතර රාජ්‍ය නොවන සංවිධාන දේශපාලනය පිලිබඳ තමන්ගේ ම ස්වාධීන දේශපාලන විවේචනයක් එයට ඇත.
සසපයේ ජාත්‍යන්තර දේශපාලන සහයෝගිතාවය, රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල් සමඟ සමාන කිරීමට දරන උත්සාහය විශේෂයෙන් ප්‍රතිගාමී ය. සසප ජාත්‍යන්තරවාදී සමාජවාදී පක්ෂයකි. හජාජාක සමඟ එහි දේශපාලන සහයෝගීතාවය, ආරක්ෂක අංශ විසින් චෝදනා කරන ආකාරයේ මූල්‍ය හෝ සංවිධානාත්මක යැපීමක් නොව, පොදු සමාජවාදී මූලධර්ම සහ කම්කරු පන්තිය ජාත්‍යන්තර ව එක්සත් කිරීමේ ඉදිරිදර්ශනය මත පදනම් වූ සවිඥානික දේශපාලන සමාගමයකි.
ජාතික සීමාවන් ඉක්මවා, කම්කරුවන්ගේ එකමුතුව සඳහා සසප විවෘත ව ම සටන් කරයි. එහි ඉදිරිදර්ශනය පදනම් වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ තරුනයින් මුහුන දෙන ගැටලු—එනම්, යුද්ධය, කප්පාදු, විරැකියාව, මර්දනය සහ සමාජ අසමානතාවය—සඳහා මූලික හේතුව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලය හරහා පමනක් ම විසඳාලිය හැකි, ධනවාදයේ ගෝලීය අර්බුදය බව වටහා ගැනීම මත ය.
හජාජාක සමඟ පක්ෂයේ සම්බන්ධතාවය මාක්ස්වාදී දේශපාලන මූලධර්මය පිලිබඳ කාරනයකි. එහි ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රසිද්ධ කෙරෙන අතර එය එහි සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලෙන් ගලා එන්නකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය යනු හජාජාක හි දෛනික මාක්ස්වාදී ප්‍රකාශනයයි. වසන්ත සහ ප්‍රනාන්දුට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් දියත් කරන ලද ජාත්‍යන්තර ව්‍යාපාරය ලොව පුරා කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ පුලුල් සහයෝගය දිනා ගත්තේ ය.
සසපට මඩ ගැසීමෙන් හෙලි වන්නේ, සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ජාත්‍යන්තර ව සංවිධානය වීමට කම්කරුවන්ට සහ තරුනයින්ට ඇති අයිතියට ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව දක්වන සතුරුකමයි. එවැනි තර්ක, දේශපාලන සංස්ථාපිතයේ සහ වෘත්තීය සමිති නිලධරයේ කොටස් විසින් සමාජවාදී විපක්ෂයට පහර දීම සඳහා නැවත නැවතත් භාවිතා කරන ජාතිකවාදී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදයන් පිලිබිඹු කරයි.
