පසුගිය මාසය තුල ලංකාවට ඇදහැලුනු අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම දැවැන්ත ලෙස ඉහල ගොස් තිබේ. සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන පරිදි එම තත්ත්වය මේ වන විට රෝහල්වලට දරාගත හැකි සීමාව ද ඉක්මවා ගොස් ඇත. රජයේ වාර්තාවලට අනුව බස්නාහිර, දකුන සහ සබරගමුව යන පලාත් ද, මධ්‍යම පලාතේ මහනුවර සහ මාතලේ ද, ඌව පලාතේ බදුල්ල ද, නැගෙනහිර පලාතේ මඩකලපුව ද ඇතුලත් දිස්ත්‍රික්ක 14ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති අතර, සෙසු පලාත්වලින් ද දිනෙන් දින රෝගීන් වාර්තා වෙමින් පවතී.
ජාතික ඩෙංගු පාලන ඒකකයේ සංඛ්‍යා ලේඛන වලට අනුව, ජනවාරි 01 දා සිට ජූනි 20 දා දක්වා ඩෙංගු රෝගීන් 44,000 ක් සහ ඩෙංගු මරන 28ක් වාර්තා වී ඇත. පසු ගිය වසර පුරා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වන 51,000 සමග සැසඳූ කල මෙය දැවැන්ත වැඩිවීමකි. පසුගිය මාසයේ පමනක් ඩෙංගු රෝගීන් 8591ක් වාර්තා වී ඇති අතර, මේ මාසයේ 18 දා වන විට ඩෙංගු රෝගීන් 9717 වාර්තා වී ඇත. මෙම ඉහල යාමේ වේගය අනුව ඩෙංගු ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහී යන ලකුනු පෙනෙන්නට තිබේ.
ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය, දැනටමත් දැඩි පීඩනයකට ලක් ව ඇති ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් පද්ධතියට ඔරොත්තු නොදෙන මට්ටමකට පත් ව තිබේ. රෝහල්වල බාහිර රෝගී අංශ ඩෙංගු ඇතුලු උන රෝගීන්ගෙන් පිරී ඉතිරී පවතින අතර, ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී “ප්ලාස්මා කාන්දු වීමේ අවධියට” ඇතුලු වන අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන අධි යැපුම් ඒකක (High Dependency Units - HDU) කොලඹ ජාතික රෝහල වැනි ප්‍රධාන රෝහලක පවා පවතින්නේ 17ක් වැනි සීමිත සංඛ්‍යාවකි.
රෝහල් ඇඳන් පිරී ඉතිරී යාම හේතුවෙන් රෝගීන්ට කොරිඩෝ සහ පඩිපෙලවල් මත පවා වැතිර සිටීමට සිදු ව ඇති බව වෛද්‍යවරයෙක් ප්‍රකාශ කලේ ය. කොලඹ ජාතික රෝහල සහ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) ඇතුලු කොලඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් සියල්ල ම මේ වන විට ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් ඇත.
වැඩිහිටි රෝගියෙකුගේ රුධිරයේ ඝන මිලි මීටරයකට රුධිර පට්ටිකා (Platelets) 130,000 සීමාව ඉක්මවා යාම එම රෝගියා රෝහලට ඇතුලත්කර ගැනීමේ නිර්නායකය වන නමුත්, රෝහල් ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් එම නිර්නායකය නොතකා රෝගීන් ආපසු හරවා යැවීමට රෝහල් බලධාරීන්ට සිදු ව තිබේ. මෙලෙස ප්‍රතිකාර සඳහා අවශ්‍ය ප්‍රමිතිගත පහසුකම් නොමැතිකම හේතුවෙන් ඩෙංගු රෝගීන් දහස් ගනනක් දැඩි අවදානමකට ලක් ව සිටිති.
කොලඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායකට අනුව, දැනට හඳුනා ගෙන ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50ක් ම වාර්තා වී ඇත්තේ කොලඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලිනි. කොලඹ දිස්ත්‍රික්කය තුල පවතින ඩෙංගු අධි අවදානම් තත්ත්වය හේතු කොට ගෙන, ආන්ඩුව ජූනි මස 15 වැනි දා සිට ජූනි මස 20 වැනි දා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශයට පත් කර තිබුනි. එහෙත්, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ඩෙංගු මර්දනය සඳහා හෝ රෝගී ජීවිත ගලවා ගැනීම සඳහා කිසිදු අමතර මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කර නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු අකුරට ම ක්‍රියාත්මක කරන ජවිපෙ/ජාජබ ආන්ඩුව මහජන සෞඛ්‍යය සඳහා වන වියදම් අඛන්ඩ ව කප්පාදු කරමින් සිටී. 2025 අයවැයෙන් සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604 ක් වෙන් කල ද, 2026 අයවැයෙන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා ඒකාබද්ධ වෙන් කිරීම රුපියල් බිලියන 554 කි. මෙය සෞඛ්‍ය වියදම්වල දැවැන්ත කප්පාදුවකි.
වත්මන් ඩෙංගු අර්බුදය, වසර ගනනාවක කප්පාදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියේ පුලුල් බිඳවැටීම හෙලි කරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ලේඛනගත කර ඇති පරිදි, රට පුරා රජයේ රෝහල්, වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ දැඩි හිඟය, ප්‍රමානවත් පහසුකම් නොමැතිකම, ජනාකීර්න වාට්ටු සහ අත්‍යවශ්‍ය උපකරන සහ ඖෂධ හිඟයෙන් පීඩා විඳිති.
කයිට්ස් මහජන සෞඛ්‍ය කාර්යාලයට අනුයුක්ත ව සේවය කරන ඩෙංගු පරීක්ෂකවරයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැහැදිලි කල තම සේවා කොන්දේසි තුල අනුප්‍රාප්තික ආන්ඩුවල කප්පාදුව මහජන සෞඛ්‍ය සේවයේ පරිහානියට බල පා ඇති ආකාරය විශද කරයි. ඔහු පවසා සිටියේ මදුරු මර්දනයට කෙරෙන දුම් ගැසීම් එම රසායනික ද්‍රව්‍ය සහ ඩීසල්, භූමිතෙල් මිල අධික බව පවසමින් සීමා කෙරී ඇති බවයි. ඔහු පෙන්වා දුන්නේ ගස් බෙනවල, ශාක පත්‍රවල ආදි තැන්වල ද ජලය එක් වී මදුරුවන් බෝ විය හැකි නිසා මෙ වැනි පියවර අනිවාර්ය බවයි. දුමායනයේ දී පලඳින මුඛාවරනවල ෆිල්ටර් භාවිත කල හැකි වාර ගනන ඉක්මවා ගොස් ඇති අතර ඒවා අලුතියන් සපයා නැති තත්ත්වයක් තුල සීමිත දුමායන කටයුතුවල දී තමන්ගේ ශ්වසන පද්ධතියට නිසි ආරක්ෂාවක් ලැබෙන්නේ නැති බව ඔහු පැවසී ය.
බොහෝ ඩෙංගු පරීක්ෂකයන් ස්ථිර සේවකයන් නොවන අතර ඔවුන්ට මාසික ව රුපියල් 27000ක් දින 24ක් සේවයේ නිරත වූ විට ලැබේ. නිවාඩු දිනකට රුපියල් 800ක් අඩු කෙරෙයි. ක්ෂේත්‍ර රාජකාරී සඳහා වෙන ම ඉන්ධන දීමනාවක් නොලැබෙන බව සඳහන් කල ඔහු ඒ සඳහා දිනකට අඩු ම තරමේ රුපියල් 800ක පෙට්‍රල් තම මෝටර්සයිකලය සඳහා මිල දී ගැනීමට සිදු වන බව සඳහන් කලේ ය: “මාසික පඩිය මුලුමනින් ම නැවත ක්ෂේත්‍ර රාජකාරි වියදම් සඳහා ම වැය වෙනවා. මේක ඇත්තට ම සමාජ සේවයක් වශයෙන් කෙරෙන්නේ. ජීවත් වෙන්න මේසන් වැඩවල යෙදීමට සිදු ව තිබෙනවා. අපිට අවසාන වරට නිල ඇඳුම ලෙස භාවිතා කරන ටී ෂර්ට් එකක් ලබා දුන්නේ වසර තුනකට පෙර. මේ එක ම ඇඳුම දිනපතා රාජකාරියට අඳින්න වෙනවා. දැන් ඒක බොහොම දිරාපත් වූ තත්ත්වයක තියෙන්නේ.”
මෙම තත්වයන්, අනුප්‍රාප්තික ආන්ඩු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් සහ ජාමූඅ හි කප්පාදු න්‍යාය පත්‍රයට මහජන සෞඛ්‍යය යටත් කිරීමේ ප්‍රතිඵලයකි. සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස, ඩෙංගු ව්‍යාප්තිය, වසංගත අවදානම් තත්ත්වයක් ලෙස ප්‍රකාශ කල ද, එය පාලනය කිරීමේ වගකීම පටවන්නේ දශකයකට වැඩි කාලයක් තිස්සේ ජලගැලීම් සහ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින කම්කරු පීඩිත ජනතාව මත ය.
පසුගිය බදාදා, කොට්ටාව නගරයේ පැවැත්වූ ප්‍රදර්ශනාත්මක ඩෙංගු මර්දන වැඩසටහනක් අමතමින් ඇමති ජයතිස්ස පැවසුවේ රට පුරා දිස්ත්‍රික්ක 14 ක පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛන්ඩව ක්‍රියාත්මක වන නමුත් උත්සාහය සාර්ථක වනු ඇත්තේ, “රටක් ලෙස අපි සාමූහිකව මැදිහත් වුවහොත්” පමනක් බවයි. ඔහු ඩෙංගු රෝගය පැතිරීම වැලැක්වීම සඳහා එකතැන පල්වෙන ජල මූලාශ්‍ර ඉවත් කර පිරිසිදු වටපිටාවක් පවත්වා ගන්නා ලෙස පාසල්, ආයතන සහ නිවාසවලින් ඉල්ලා සිටියේය.
එසේ අපොහොසත් වන පුද්ලයන්ට විරුද්ධව අධිකරන ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ආන්ඩුව දැනටමත් අනතුරු අඟවා තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, 2025-කාර්යසාධන හා ප්‍රගති වාර්තාව අනුව එම වසරේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සිදුකල වැටලීම් වලදී පරිශ්‍ර 323276ක් පරීක්ෂාවට ලක් කරන ලද අතර, මදුරු කීටයන් සහිත පරිශ්‍ර 12025ක් හඳුනාගෙන පරිශ්‍ර 2982කට එරෙහිව නඩු පවරා ඇත.
ඩෙංගු මර්දනය සඳහා දීර්ඝ කාලීන වැඩපිලිවෙලක් තමන් සතුව ඇතිබව ආන්ඩුව පුරසාරම් දෙඩුවත් දශක කිහිපයකට ඉහත නාගරික ප්‍රදේශයන්හි සිදුකරනලද ඩෙංගු මර්දන වැඩසටහන් පවා අතරහැර මා තිබේ. උදාහරනයක් ලෙස මදුරු මර්දනය සඳහා සිදුකරන දූමායනය අද සිදුවන්නේ හදිසි තත්වයක් ඇතිවුවහොත් පමනි.
මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වන ප්‍රතිපාදන කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, එම කාර්ය මන්ඩලවල දැනට විශාල හිඟයක් පවතී. නිල අනුමත කාඩරය (Approved Cadre) අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) පුරප්පාඩු 1,200ක් පමන පවතින අතර, දැනට සේවයේ නිරතව සිටින්නේ 2,300කට ආසන්න සංඛ්‍යාවක් පමනි. මීට අමතරව ප්‍රජා සෞඛ්‍ය අංශයේ සෙසු තනතුරුවල ද පවතින්නේ බරපතල කාඩර හිඟයකි.
මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෑතකදී කරන ලද පරීක්ෂාවන්හිදී, ඩෙංගු මදුරුවන් බහුලව බෝවන ස්ථාන ලෙස පාසල් හඳුනාගෙන ඇත. මෙය, පෙර පැවති ආන්ඩු විසින් ගෙනගිය සහ වත්මන් ආන්ඩුව ගෙනයන අධ්‍යාපන වියදම් කප්පාදුව හේතුවෙන්, වර්ධනය වී පවත්නා පාසල් අනධ්‍යන සේවක හිඟයේ ඝෘජු ප්‍රතිඵලයකි.
මොරටුව ප්‍රදේශයේ පාසලක සේවය කරන ගුරුවරියක් ප්‍රකාශ කලේ, තමන්ට පාසලේ සම්පූර්න ඉගැන්වීම් කාලසටහනක් ලබා දී ඇති අතර ඊට අමතරව ලිපිකරු කටයුතු සහ පංති කාමරය සහ අවට පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වීමට ද සිදුවී ඇති බවයි. මේ හේතුවෙන් පාසල ආරම්භ වීමට විනාඩි 45කට පමන පෙර පාසලට පැමිනීමට සිදුව ඇති බවත්, පාසල අවසන් වීමෙන් පසුව ද එම වැඩකටයුතු සඳහා තවත් අමතර කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
බොහෝ රජයේ ආයතනවල ඩෙංගු මදුරුවන් බෝවීම සම්බන්ධයෙන් වගකීම එහි සේවකයින් මත පැටවේ. මොරටුව විශ්වවිද්‍යාලයේ 2020 වසරේදී සිදුකල ඩෙංගු වැටලීමකදී, පරිසරයේ ජලය රැඳී තිබීමට වගකිවයුතු බව පවසමින් චෝදනා කොට දඩ නියම කරන ලද්දේ ඒ සඳහා ආයතනය තුල කිසිදු පරිපාලනමය වගකීමක් හෝ නොදරන කාර්මික නිලධාරීන් දෙදෙනෙකුටය. මෙවැනි තත්ත්වයක් උදාවී ඇත්තේ විශ්වවිද්‍යාල තුල පිරිසිදු කිරීමේ සේවක සංඛ්‍යාව කප්පාදු කර, ප්‍රතිපාදන වෙන්කිරීම සීමා කිරීම හේතුවෙන් ඩෙංගු අවදානම ඉහල ගොස් ඇති පසුබිමක ය.
2017 ජූලි 25 ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකල “ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙංගු වසංගතය” නමැති ලිපිය පෙන්වා දුන්නේ මෙම දඬුවම් පියවර ඩෙංගු තුරන් කිරීම සහ කම්කරු පන්තියට සහ දුප්පතුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සුරක්ෂිත කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. ඊට පටහැනිව, “මහජන සෞඛ්‍ය පහසුකම් සහ වැඩසටහන් ඇතුලු සීමිත සමාජ සේවා අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතාව අතර නැඟී එන කෝපයට එරෙහිව ඒවා යොමු කර ඇතැ” යි එම ලිපිය පෙන්වා දෙයි.
ජවිපෙ/ජාජබ ඇතුලු ධනපති පාලක පන්තිය, මහධනපතියන්ගේ ලාභ අවශ්‍යතා සහ විදේශ නය ආපසු ගෙවීම්, මිනිස් ජීවිතවලට වඩා ඉහලින් තබයි. ආන්ඩුව, මහා ව්‍යාපාරවලට සහන ලබා දීම සහ නය ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන ගනනක් යොමු කරන අතර, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ සේවා සඳහා අරමුදල් අඛන්ඩව කප්පාදු කරයි. ඩෙංගු රෝගීන්ට පහසුකම් සැලසීමට රෝහල්වලට ඇති නොහැකියාව, මහජන සෞඛ්‍ය සේවාවන්හි නිදන්ගත කාර්ය මන්ඩල හිඟය සහ රෝග වැලැක්වීමේ සෞඛ්‍ය වැඩසටහන්වල පරිහානිය යන සියල්ලම වරප්‍රසාද ලත් ප්‍රභූවක ධනය ආරක්ෂා කිරීම සඳහා ජනගහනයේ අවශ්‍යතා කැප කරන සමාජ පර්යායක ප්‍රකාශනයන් වේ.
ඩෙංගු ඇතුලු රෝග වලට ගොදුරුවීමේ නිරන්තර අවදානමට මුහුනදී සිටින කම්කරු පිඩිතයන්ද, වැඩ වේගවත් කිරීමට සහ මූර්ත වැටුප්වල කප්පාදුවට මුහුනදී සිටින සෞඛ්‍ය කම්කරුවන්ද ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගැනීම සඳහා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කල යුතු ය.
