[මෙය Sri Lanka: Railway workers and Katunayake Free Trade Zone workers back campaign to free Ukrainian socialist Bogdan Syrotiuk යන මැයෙන් 2026 අගෝස්තු 27 ඉංග්‍රීසි බසින් පල විය.]
බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීමේ ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ (සසජාතශි) සාමාජිකයෝ මෑතක දී කටුනායක නිදහස් වෙලෙඳ කලාපයේ (කනිවෙක) සහ රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් සමඟ සාකච්ඡා කලහ.
27 හැවිරිදි යුක්රේන ට්‍රොට්ස්කිවාදියෙකු සහ බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවලෙහි ප්රමුඛ සාමාජිකයෙකු වන බොග්ඩාන්, යුද්ධයට එරෙහි ව යුක්රේන හා රුසියානු කම්කරුවන් අතර එක්සත්කමක් සඳහා කැඳවුම් කිරීම හේතුවෙන් “රාජද්‍රෝහීත්වය” යන චෝදනාව යටතේ අගෝස්තු 10 දින වසර 15ක සිර දඬුවමකට යටත් කරන ලදී.
සසප/ සසජාතශි උද්ඝෝෂකයෝ ලෝසවෙඅ විසින් පල කෙරුනු ලිපිය වන “යුක්රේනයේ ෆැසිස්ට් අධිකරනය යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට වසර 15ක සිර දඬුවමක් පනවයි” යන සිංහල භාෂා පිටපත් සහ අනෙකුත් සාහිත්‍ය බෙදා හැරියහ. ඔවුන්ගේ මැදිහත්වීමට සැලකිය යුතු සහයෝගයක් ලැබුනු අතර, කම්කරුවෝ බොග්ඩාන් නිදහස් කරන ලෙස කරන ඉල්ලීමට ස්ථිර ව සහාය පල කරමින්, ඔහුගේ ඡායාරූපය අතැති ව ඡායාරූප සඳහා පෙනී සිටියහ.
කනිවෙක යනු රටේ විශාල ත ම අපනයන සැකසුම් කලාපය වන අතර, එහි කම්කරුවන් 30,000කට වැඩි පිරිසක් සේවයේ නිරත වෙති. එය බියගම සහ කොග්ගල ඇතුලු මෙ වැනි කලාප කිහිපයකින් එකක් වන අතර, ඒවා වික්ටෝරියාස් සීක්රට්, මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, ජීඒපී සහ එච් ඇන්ඩ් එම් වැනි අන්තර්ජාතික සමාගම් සහ ගෝලීය සන්නාම සඳහා නිෂ්පාදන සිදු කරයි. ඇඟලුම් කම්කරුවන් දැඩි ලෙස සූරාකෑමට ලක් වන අතර, සාමාන්‍යයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් 107–137ක් (රුපියල් 35,000–45,000ක්) පමන උපයති.
34 හැවිරිදි ලක්මාල් මෑන්පවර් ආයතනයක් හරහා කොන්ත්‍රාත් කම්කරුවෙකු ලෙස සේවය කරන අතර, විවිධ ඇඟලුම් කර්මාන්තශාලාවල ඔහුට සේවා පැවරුම් ලැබේ. මැද පෙරදිග රටක සේවය කරන ඔහුගේ මව, එම කලාපයේ පවතින යුද්ධය පිලිබඳ ඔහුට පවසා ඇති අතර, ඇතැම් විට දුරින් ඇමරිකානු හමුදා කඳවුරු වෙත ඉරාන ප්‍රහාර එල්ල කරන හඬ ඇයට ඇසෙයි.
ඔහු මෙසේ පැවසී ය: “යුක්රේනය සහ රුසියාව අතර යුද්දයක් තියෙනවා, ඉරානයට පහර දෙනවා (ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින්), පලස්තීනයේ හැමදාම ඝාතන, හෙට අනිද්දා ඇමරිකාව චීනය තායිවානය අතර යුද්ධයක් අව්ලුවයි ද කියන්න බෑ. තායිවානය ඒ අවට ප්‍රදේශවල යුද අභ්‍යාස සිද්ධ වෙනවා.”
ඔහු තවදුරටත් මෙසේ ද පැවසී ය: “න්‍යෂ්ටික ආයුධවලින් යුද්ධය කරන්නත් ඉඩ තියෙනවා. එහෙම වුනොත් රුසියාව, චීනයත් එවැනි ආයුධ පාවිච්චි කරන්න පුලුවන්. ලෝකය ඒ වගේ තැනකට ඇවිත් තියෙන්නේ.”
“තව යුද්ධය ඇවිලුනොත් අපිට කන්න බොන්නත් නැති වෙයි කියලා මට හිතෙන්නේ. නැව්වලට, ගුවන් යානාවලට යන්න බෑ. දැනුත් දරාගන්න බෑ. හැම දේ ම ගනන් යනවා. නමුත් අපේ පඩි වැඩි කරන්නේ නෑ. අපිට ජීවත් වෙන්න බෑ මේ විදිහට,” යැයි ඔහු තවදුරටත් පැවසී ය.
ඔහු අවසාන වශයෙන් පැවසුවේ “(යුක්රේන ආන්ඩුවේ) මෙම විනාශකාරී අපේක්ෂාවට එරෙහි ව මෙම තරුන හා ධෛර්යසම්පන්න යුක්රේන සමාජවාදියා ස්ථාවරයක් ගත්තා. ලෝකයේ තවත් හුඟාක් දෙනෙක් එක්ක එකතු වෙලා, බොග්ඩාන් සයිරොටියුක් වහා ම නිදහස් කරන්න කියන ඉල්ලීම මම කරනවා!” යනුවෙනි.
ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසිභාවය සම්බන්ධ ව ඔහු එත්තු ගනිමින් ඇමරිකාවේ, යුරෝපයේ ඇතුලු ලෝකය පුරා කම්කරුවෝ ඒ සඳහා සූදානම් කිරීම “ප්‍රමාද කල නොහැකි” කටයුත්තක් බව කියා සිටියේ ය.
තම සේවායෝජකයාගේ පලිගැනීමට ලක් වනු ඇතැයි යන බියෙන් නිර්නාමික ව කතා කල ඇඟලුම් සේවිකාවක්, බොග්ඩාන්ට එරෙහි සිර දඬුවම හෙලා දුටු අතර ඔහුගේ නිදහස සඳහා ඔන්ලයින් පෙත්සමට අත්සන් කිරීමට පොරොන්දු විය. ඇය මෙසේ පැවසුවා ය: “යුද්ධය තව ඉදිරියට ගියොත් ලොකු විනාශයක් වෙන්නේ. හැම රටකට ම යුද්ධය බලපානවා. යුද්දේ නතර කරන්න කියලා බොග්ඩාන් සටන් වැදුනේ මුලු මනුස්ස සංහතිය වෙනුවෙන්මයි. ඒ නිසා ඔහු නිදහස් කරන්න ඕනා.”
වසර 20 කට වැඩි කාලයක් විවිධ ඇඟලුම් කම්හල්වල සේවය කර ඇති ඇය, යුද්ධය කනිවෙක වෙත බලපා ඇති ආකාරය පැහැදිලි කලේ, “යුද්ධය නිසා දැන් ඇනවුම් ලැබෙනවා අඩුයි. නිදහසක් නෑ කතා කරන්න. වැටුප රුපියල් 50,000 ක් විතර ලැබෙන්නේ. මහත්තයත් මගේ ෆැක්ටරියේමයි වැඩ. පඩි වැඩි කරන්න ඉල්ලුවොත් අපිව එලියට දාන තත්වයක් තියෙන්නේ,” යනුවෙනි.
මුද්‍රන කඩදාසි කම්හලක සේවකයෙකු වන 50 හැවිරිදි ඩිලුෂාන් මෙසේ පැවසීය. “යුද්ධය කියන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇති ව මිනී මරන්න අවසර දීමක්. යුද්ධය කියන එකට අපි විරුද්ධ වෙන්න ඕනා. හැම මනුෂ්‍යයෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. මානව අයිතිවාසිකම් පැත්තෙන් ගත්තහ ම ඒ පුද්ගලයාගේ ජීවිතය අහිමි කිරීමට අයිතියක් නැහැ.”
“මේ තරුනයා කතා කරන්නෙ අන්න ඒකයි. හැම මනුස්සයෙකුට ම ජීවත්වීමේ අයිතියයි මෙයා තර්ක කරන්නේ. රුසියානු යුක්රේන යුද්ධයේ දී මැරෙන මිනිස්සු වෙනුවෙන් එයා කතා කරන්නේ. යුද්ධයේ දී ඉස්සරහට මැරෙන්න ඉන්න අය වලකා ගැනීමටයි එයා කතා කරන්නේ.”
ඩිලුෂාන් තවදුරටත් මෙසේ ද පැවසී ය: මේ වගේ කෙනෙක් රටක බිහිවෙන්නේ කලාතුරකින්. ඒ වගේ කෙනෙක් නිදහසේ සිටිය යුතුයි, මොකද තව කෙනෙක් ගැන හිතන ඉස්සරහ ගැන හිතන කෙනෙක්. ඒ නිසා අනිවාර්යෙන් ම ඒ රට තුල ඔහු කරගෙන යන ව්‍යාපාරයට නිදහස තිබිය යුතුයි. ඒකයි ප්රජාතන්ත්රවාදය කියලා කියන්නේ. හිර කරලා බොරු චෝදනා දාලා එහෙම කරන්න දෙන්න බැහැ.”
මනුෂ්‍ය වර්ගයාගේ යහපැවැත්ම සඳහා නොව මිනිස් ජීවිත විනාශ කිරීම සඳහා දියුනු තාක්ෂනය භාවිතා කරන අධිරාජ්‍යවාදී බලවතුන් ඔහු හෙලා දුටුවේ ය. ඒඅයි (කෘතිම බුද්ධිය) තාක්ෂනය හරහා යුද්ධ පැවැත්වීම සම්බන්ධයෙන්, ඔහු පැවසුවේ “මෙම තාක්ෂනයන් නිර්මානය කල පුද්ගලයින් ලෝකයේ සංවර්ධනය බලාපොරොත්තු වුනත් අධිරාජ්‍යවාදී බලවතුන් ඔවුන්ගේ කොල්ලකාරී ආකල්ප නිසා ඒවා ප්‍රතිවිරුද්ධ දේවලට භාවිතා කරනවා. පරමානුව හොයාගත්තේ බෝම්බ හදන්න නෙමේ. ඒක හොයා ගත්තු කෙනා ලෝකයේ වෙනත් දේවල් වලට දියුනුව සඳහා යහපත සඳහා පාවිච්චි කරන්නයි එහෙම කලේ.“ යනුවෙනි.
කුමාර, ස්මාර්ට් ෂර්ට්ස් සමාගමට කොටස් සපයන කර්මාන්තශාලාවක සේවය කරන තරුන කම්කරුවෙකු වන අතර, සෙලෙන්ස්කි පාලන තන්ත්රයේ මර්දනකාරී ක්‍රියාමාර්ග පිලිබඳව තමා දැන සිටියේ ඉතා සුලු වශයෙන් බව පැවසී ය. සසප සාමාජිකයෝ රුසියානු සහ යුක්රේන සොල්දාදුවන් යුද්ධයෙන් මිය යමින් සිටින ආකාරයත්, බොග්ඩාන් සිරගත කිරීම මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කර ඇති බවත් පැහැදිලි කලහ.
කුමාර ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසී ය: “මනුෂ්‍යයෙක් එහෙම හිරේ දාන්න බැහැ. ඒක වැරදියි.” ඔහු හමුදා වියදම් හෙලා දකිමින් මෙසේ පැවසී ය: “යම් කෙනෙකුට මුදල් වටිනවා කෑම බීම ඕන වෙනවා. සම්පත් සුභසාධනවලට වියදම් කරන්න ඕනා. අපිට යුද්ධයක් ඕනේ නැහැ.”
රොෂාන්, රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ කම්කරුවෙකු වන අතර, බොග්ඩාන් සිරගත කිරීම හෙලා දකිමින්, ඔහු වහා ම නිදහස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පැවසී ය. “මෙම විනාශකාරී යුද්ධයට විරුද්ධ වෙන්න ඕනා. යුද්ධයට විරුද්ධ වෙන එක අපරාධයක් වෙන්නේ කොහොමද? ඇත්ත අපරාධකරුවන් වෙන්නේ යුද්ධය නිර්මානය කල පාලකයන්. ඔවුන්ට දඬුවම් දෙන්න ඕනා,” යැයි ඔහු අවධාරනය කලේ ය.
වසර ගනනාවක් පුරා යුද්ධය පැවතීමෙන් පසු, එය සාධාරනීකරනය කිරීම සඳහා පවසන ලද බොරු දැන් හෙලිදරව් වෙමින් පවතින බව ඔහු පැවසුවේ “මෙම කරුනු වැඩි වැඩියෙන් පැහැදිලි වෙමින්, (යුද්ධයට) බාධාවක් හැටියට පත් වෙද්දි, පාලකයෝ යුද්ධයට විරුද්ධ වන අයගේ හඬ යටපත් කරන්න උත්සාහ කරනවා. යුක්රේනයේ ප්රජාතන්ත්රවාදී ව තේරී පත් වෙච්ච ආන්ඩුවක් නැහැ. යුද්ධය සාධාරනීකරනය කරමින්, සෙලෙන්ස්කි බලහත්කාරයෙන් බලයේ ඉන්නවා,” යනුවෙනි.
රොෂාන්, දෙවන ලෝක යුද්ධ සමයේ නාසිවාදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කලවුන් උත්කර්ෂයට නැංවීම සම්බන්ධයෙන් සෙලෙන්ස්කි පාලන තන්ත්රය හෙලා දුටුවේ ය. එය බොග්ඩාන් විසින් හෙලිදරව් කර තිබිනි. “ඒගොල්ල කම්කරු පන්තියේ හතුරෝ. හිට්ලර් මාක්ස්වාදී සාහිත්‍ය විනාශ කෙරුව කියල මම දන්නවා. ඒ වගේ ම, දැන් ඒගොල්ල (පාලකයෝ) බොග්ඩාන් සයිරොටියුක්ගේ මාක්ස්වාදී ලේඛන විනාශ කරමින් ඉන්නවා. ජාත්‍යන්තර කම්කරු පන්තිය මෙයට එරෙහි ව නැගී සිටිය යුතුයි.”
කර්මාන්තශාලාවේ තවත් දුම්රිය කම්කරුවෙකු වන ජනක පැවසුවේ බොග්ඩාන් සයිරොටියුක් “යුක්රේනයේ, රුසියාවේ සහ ලෝකයේ ලෝක මහජනතාවයි ආරක්ෂා කලේ, මහබලවතුන් නෙමෙයි. ඔහු ජනතාව ආරක්ෂා කල සටන්කරුවෙක්. ඒ නිසායි සෙලෙන්ස්කි තන්ත්රය ඔහුව වසර 15ක හිර දඬුවමකට යටත් කලේ. ඒක නිසා අපි ඔහු (බොග්ඩාන්) ආරක්ෂා කල යුතුයි,” යනුවෙනි.
“ඔහු අත්අඩංගුවට ගත්තේ 2024 දී බොරු චෝදනාවලට, කරුනු සෙවීමට වසර දෙකක් ගත්තා. එහෙත් සොයා ගත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියූ ලිපි පමනයි. ඒවායේ කරුනු ඇත්ත බව ඔවුන්ටමත් පිලිගන්න සිද්ද වුනා. මේ කරුනු සැලකිල්ලට ගත්තහම ඔප්පු වෙන්නේ පාලකයෝ ඔහුට දුන් තීන්දුව කලින් ම තීන්දු කල එකක් බවයි. වසර 15 කට ඔහුව නිහඬ කරලා.”
“මේක අසාධාරන තීන්දුවක්. සමස්ත මහජනයාට වැඩ කරන ජනයාට එල්ල කල මරු පහරක්, මම එහෙම කියන්නේ මේ යුද්ධයේ බර දරන්න වෙන්නෙ අපිට නිසායි. ලෝක මහජනතාව මේකට විරුද්ධ විය යුතුයි. මම මේක හෙලා දකිනවා.” යනුවෙන් ඔහු අවසානයට ප්‍රකාශ කලේ ය.
වැඩිදුර කියවන්න
- යුක්රේනයේ ෆැසිස්ට් අධිකරනය යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට වසර 15ක සිර දඬුවමක් පනවයි
- යුක්රේන දේශපාලන සිරකරුවෙකු වන බොග්ඩාන් සිරොටියුක්ට වැඩෙන සහයෝගය මධ්‍යයේ, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තම සාපරාධී නිහඬතාව දිගට ම පවත්වාගෙන යයි
- යාපනය විශ්වවිද්‍යාලය අසල බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන්ට පොලිසිය හිරිහැර කරයි
